සිරිපා අඩවියේ විදුලි බලාගාරයක ඉදි කිරීමක් අත්හිටුවයි

ශ්‍රී පාද අඩවිය පාමුල ජෛව විවිධත්වයෙන් යුතු ප්‍රදේශයක් වූ ඉහළ කදුරුගල්‍දොළ ජල විදුලි ව්‍යාපෘතිය මධ්‍යම පරිසර අධිකාරිය තාවකාලිකව අත්හිටුවා තිබෙයි.

පෞද්ගලික සමාගමක් (එස්.එන්. හයිඩ්‍රෝ පවර් පෞද්ගලික සමාගම) මගීන් මෙගා වොට් 2ක ජල විදුලි බලය උත්පාදනය කිරීමේ අරමුණින් වර්ෂ 2016 දී පමණ මෙම ඉහළ කදුරුගල්‍දොළ ජල විදුලි ව්‍යාපෘතිය ආරම්භ කර ඇත.

මෙම ව්‍යාපෘතිය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් සමනල අඩවි ස්වාරක්ෂක කලාපය තුළ (Buffer Zone) පිහිටා ඇත.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංගමයේ තොරතුරු අනුව ඉතා ඉහළ නාය යෑමේ අවදානමක් සහිත කලාපයක මෙම යෝජිත ජල විදුලි බලාගාර පද්ධතිය පිහිටා ඇතැයි ගම්වාසීහු පවසති.

මීට පෙර මෙම කදුරුගල්‍දොළ ජල ව්‍යාපෘතිය ඉදිකරන කලාපය නාය යෑමට ලක්ව ඇති බව ද ප්‍රදේශවාසීහු පවසන අතර පාඩි ඇල්ලට ඉහළින් ඉදිකෙරෙන වේල්ල නිසා සන්නාසි ඇල්ලට ප්‍රවේශ වන මාර්ගය ද අවහිර වන බැවින් සන්නාසි ඇල්ල දැක බලා ගැනීමට ජනතාවට නොහැකි වේ.

තවද, එම බලාගාරයට මීටර් 50ක් පහළින් තවත් කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකර ඇති අතර එයින් ඔය හරහා ජලය ගලා යෑමක් සිදු නොවේ.

මෙම ජල විදුලි ව්‍යාපෘතියට එරෙහිව ප්‍රදේශවාසීහු උද්ඝෝෂණ හා වෙනත් ක්‍රියාමාර්ග රැසක් කාලයක් පුරා ක්‍රියාත්මක කළ අතර ඇතැම් පුද්ගලයන්ට මේ නිසා රක්ෂිත බන්ධනාගාරගත වීමටද සිදුව ඇත.