සූර් වී නින්දට වැටුණු පොලිස් නිලධාරීන් ගැන විමර්ශනයක්

පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු රාජකාරී කාලසීමාව තුළ බීමතින් නිදා සිටින බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙන වීඩියෝව සම්බන්ධයෙන් පොලීසිය ප්‍රතිචාර දක්වා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග සඳහන් කළේ මෙම වීඩියෝවේ සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග,

“පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තම රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරී යම් ස්ථානයක නිදා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.”

“මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මෙම සිදුවීමට අදාළ පොලිස් කොට්ඨාසයේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය ද පළ කළා.”

“එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරනවා.”