ඉරානය සිය ඉලක්කය පැහැදිලි කරයි

ඉරාකයේ සහ සිරියාවේ සතුරු ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ ඉරානය විසින් සිය නැගෙනහිර දේශසීමාවේ පිහිටි පාකිස්තානයට ද ප්‍රහාරයක් දියත් කර තිබේ.

පාකිස්තානයේ බලොචිස්තාන් ප්‍රාන්තයේ ප්‍රදේශයක රැකවරණ ලබමින් සිටින ජායිෂ්-අල්-අඩ්ල් (Jaish al Adl) සන්නද්ධ කල්ලිය තම ඉලක්කය වූ බව ඉරානය ප්‍රකාශ කරයි.

මෙම ත්‍රස්ත කල්ලිය සම්බන්ධයෙන් ඉරානය, පාකිස්තාන බලධාරීන් සමග කිහිප විටක්ම සාකච්ඡා කර ඇති බවත් ඉරාන මිසයිල හෝ ඩ්‍රෝන් යානා කිසි ලෙසකින් හෝ පාකිස්තානයේ සහෝදර ජනතාව ඉලක්ක කර නොගන්නා බවත් ඉරාන විදේශ අමාත්‍ය අමීර් අබ්ඩොලාහියන් ප්‍රකාශ කළේ ස්විට්සර්ලන්තයේ ඩාවොස්හි ලෝක ආර්ථික සංසදයේ සමුළුවට සහභාගි වෙමින් සිටින අතරතුර ය.

ගිනිකොනදිග ඉරානයේ රාස්ක් නගරයට පසුගියදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට පාකිස්තානයේ රැකවරණ ලබන ජායිෂ්-අල්-අඩ්ල් සන්නද්ධ කණ්ඩායම සම්බන්ධ බවද ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඉරානය, පාකිස්තානයේ ස්වෛරීත්වය සහ භෞමික අඛණ්ඩතාවට ගරුකරන අතරම, රටේ ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබානොදෙන බවත් ඉරාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කරයි.

යුක්තියේ හමුදාව (Army of Justice) යන අරුත් ඇති ජායිෂ් – අල්- අඩ්ල් සුන්නි මුස්ලිම් සන්නද්ධ කණ්ඩායමක් වන අතර, ඉරානය ෂියා මුස්ලිම් ලෝකයේ ප්‍රමුඛයා බව අප අමතක කළ යුතු නැති බව ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර ඇත.

ජායිෂ් – අල් – අඩ්ල්, ඊශ්‍රායලයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් බව ඉරානය පවසයි.

මෙම සන්නද්ධ කණ්ඩායම මීට පෙර ද පාකිස්තාන දේශසීමාව හරහා ඉරනය තුළ ප්‍රහාර දියත් කර තිබේ.

කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් සිවිල්වැසියන්ට ජීවිත හානි සිදු වූ බව පවසන පාකිස්තානය ඉරානයේ සිය තානාපතිවරයා යළි කැඳවීමට ද පියවර ගෙන ඇත.

සිය ගුවන්තලය ආක්‍රමණය කරමින් එල්ල වූ එම ප්‍රහාරයෙන් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බවත් පාකිස්තානය ප්‍රකාශ කරයි.

ඉරානය එල්ල කළ මිසයිල 04ක්, ඉරාන දේශසීමාවේ සිට කිලෝමීටර් 50ක් පමණ පාකිස්තාන භූමිය තුළ පිහිටි ගම්මානයකට පතිත වූ බවත් ඉන් දේවස්ථානයකට සහ නිවාස 03කට හානි සිදු ව ඇති බවත් පාකිස්තානය ප්‍රකාශ කර තිබේ.

ඉරානය සිය භූමිය තුළට එල්ල කළ මිසයිල ප්‍රහාරයෙන් උරණ වූ පාකිස්තානය ප්‍රකාශ කළේ, මෙම නීති විරෝධී ක්‍රියාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන්ට අයිතියක් පවතින බවයි.

පාකිස්තාන විදේශ අමාත්‍යාංශය එම ප්‍රකාශය සිදු කර පැය කිහිපයක් ගතවීමට මත්තෙන් ඔවුන් ඉරාන භූමියට ද මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබිණි.

පාකිස්තාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, එහි සිට ක්‍රියාත්මක බෙදුම්වාදී කල්ලියක් එමගින් ඉලක්ක කෙරුණු බවයි.

කෙසේ නමුත් පාකිස්තානය එල්ල කළ එම මිසයිල ප්‍රහාරයෙන් පාකිස්තාන දේශසීමාව ආසන්නයේ ගම්මානයක කාන්තාවන් තුන්දෙනෙකු සහ ළමුන් 04 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව ඉරානය පවසයි.

කෙසේ නමුත් බුද්ධි තොරතුරු මත පදනම් වූ එම ප්‍රහාරයෙන් ත්‍රස්තවාදීන් කිහිප දෙනෙකුට මරා දැමු බව පාකිස්තානය ප්‍රකාශ කර ඇත.

ත්‍රස්තවාදීන් සැඟවී සිටින ප්‍රදේශ නිවැරදිව ඉලක්ක කරගනිමින් ප්‍රහාරය එල්ල කළ බව පාකිස්තාන විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ නමුත් පාකිස්තානය, ඉරානයේ ස්වෛරීත්වයට සහ භෞමික අඛණ්ඩතාවට පුර්ණ ලෙස ගරුකරන බව ද එමගින් කියා සිටියි.

එහෙත් ඉරාන ඉලක්ක වෙත එල්ල කළ ප්‍රහාරය සිය ජාතික ආරක්ෂක අභිලාෂයන්ට අනුව සි දුකරන ලද්දක් බව පාකිස්තානය අවධාරණය කර ඇත.

BLF නැත්නම් බලොචිස්තාන් විමුක්ති පෙරමුණ නැමැති බෙදුම්වාදී කල්ලිය සිය ප්‍රහාරය මගින් ඉලක්ක කරගත් බව පාකිස්තානය ප්‍රකාශ කරයි.

ඔවුන් සටන්වැද සිටින්නේ බලොචිස්ථාන් ප්‍රාන්තය පාකිස්තානයෙන් වෙන් කර ගෙන ස්වාධීන රාජ්‍යයක් පිහිටුවීමටයි.