ලංකාවට සුබ ආරංචියක්

යේමනයේ ඉරාන පාක්ෂික හූති කැරලිකරුවන් රතු මුහුදේ යාත්‍රා කරන වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හමුවේ බොහෝ ජාත්‍යන්තර නෞකා සමාගම් රතු මුහුද මගහැර යාත්‍රා කිරීමට මේ වනවිට තීරණය කර තිබෙනවා.

නව ගමන් මාර්ගය ලෙසින් නම් කර ඇත්තේ, රතු මුහුද මගහැර අප්‍රිකාව ආශ්‍රිත “කේප් ඔෆ් ගුඩ් හෝප්“ නාවුක මාර්ගයයි.
එම මාර්ගයට ආසන්නයෙන් කොළඹ වරාය පිහිටීම හේතුවෙන් මෙම වාතාවරණය ශ්‍රී ලංකාවට ඉතා වාසිදායක බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලෝකයේ වාණිජ නාවුක යාත්‍රා ක්ෂේත්‍රයේ කාර්යබහුලම මාර්ගය වන රතු මුහුද ආශ්‍රිත මුහුදු කලාපය තුළ සිදුවන හූති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් ජාත්‍යන්තර නෞකා ගමනාගමනයට මේ වනවිට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා.

රතු මුහුද මගහරිමින් බොහෝ නෞකා අප්‍රිකාව ආශ්‍රිත “කේප් ඔෆ් ගුඩ් හෝප්“ නාවුක මාර්ගය ඔස්සේ යාත්‍රා කිරීමට තීරණය කිරීම හේතුවෙන් මෙතෙක් දින 25කින් පමණ නිම වූ නාවුක ගමනාගමනය දින 34ක් දක්වා දීර්ඝ වනු ඇති. ඒ අනුව ලොව වාර්ෂික නාවුක ගමනාගමනයෙන් 12%ක්ම සම්පූර්ණ කරන රතු මුහුද ආශ්‍රිත නාවුක ගමනාගමනය වෙනස් වීමේ වැඩිම වාසියක් සැලසෙන්නේ ශ්‍රී ලංකාවටයි.

දීර්ඝ නාවුක ගමනක් අතරතුර සිය සේවා අවශ්‍යතා සපුරා ගැනීමට ජාත්‍යන්තර නෞකාවලට ඇති පහසුම සහ ආසන්නතම වරාය කොළඹ වරාය වීම විශේෂත්වයක්. කොළඹ වරාය, අප්‍රිකාව, බටහිර ආසියාව සහ නැගෙනහිර ආසියාව අතර උපාය මාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානයක පිහිටා තිබෙනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ, එම භූගෝලීය පිහිටීමේ උපාය මාර්ගික වැදගත්කම හමුවේ රතු මුහුදේ නාවුක ප්‍රවාහන අර්බුදය ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් ඉතා වාසිදායක බවයි.

පසුගිය මාස එක හමාරක කාලය තුළ කොළඹ වරායට ඇතුළු වීම සඳහා නෞකාවලින් ලැබෙන ඉල්ලීම් ප්‍රමාණය සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

එම වාර්තාවල දැක්වුණේ, බොහෝ නෞකාවලින් ගෙන එන භාණ්ඩ, ප්‍රති නැව්ගත කිරීම හරහා ඉතා විශාල ආදායමක් කොළඹ වරායට උපයා ගත හැකි බවයි.

මේ අතර, කොළඹ වරායේ හටගෙන ඇති තදබදය හේතුවෙන් වරායට ඇතුළුවිමේ අපේක්ෂාවෙන් වරායෙන් පිටත නෞකා රැසක් පැය 24කට වැඩි කාලයක් නැංගුරම්ලා තිබෙන බව කොළඹ වරායේ මෙහෙයුම් අධ්‍යක්ෂ යූ. කුමාර ප්‍රකාශ කළා.

එමගින් ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිවන ආදායම ඉහළ යනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ. රතු මුහුදු කලාපයට එල්ල කෙරෙන ප්‍රහාර තීව්‍ර වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් බ්‍රිතාන්‍යයේ ඉන්ධන සහ ගෑස් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන ෂෙල් සමාගම සිය වාණිජ කටයුතු වෙනුවෙන් රතු මුහුද ආශ්‍රිත සමුද්‍රීය කලාපය භාවිත නොකිරීමට ද තීරණය කර තිබෙනවා. ඒ, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර පසුගිය සතියේ බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව හූති සටන්කාමීන් රතු මුහුදේ වාණිජ නෞකා ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර තීව්‍ර වනු ඇතැයි මත පළ වීමත් සමඟයි.

රතු මුහුද හරහා යාත්‍රා කිරීම නතර කළ විශාලතම සමාගම ෂෙල් සමාගම බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.