
ගෝල් මාවල්ස් කඩුලු 09කින් පරාජය කර 05වැනි ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ (21දා) සමත් වුණා.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයෙන් ජැෆ්නා කණ්ඩායමට හිමි වූ ලකුණු 185ක තරමක් අසීරු ඉලක්කය පන්දුවාර 15.4කදී පසුකර යෑමට සමත් වුණා.
ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා වූ රයිලි රූසෝව් පන්දු 53කින් ලකුණු 106ක් රැස්කිරීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් ඔහු දැවැන්ත හයේ පහර 07ක් හා හතරේ පහර 09ක් එල්ල කිරීමට සමත් වුණා.
ඊට අමතරව කුසල් මෙන්ඩිස් පන්දු 40කින් ලකුණු 72ක් රැස්කළේ හයේ පහර 02ක් හා හතරේ පහර 08ක් සමගිනි.
යාපනය නාමය යටතේ යාපනය කණ්ඩායම අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ 04වැනි අවස්ථාව මෙය වූ අතර, ඒ අනුම මේ දක්වා වූ සෑම අවස්ථාවකදීම ඔවුන් ශූරතාව ජයග්‍රහණය කර ඇත.
ඉන් එල්.පී.එල්. ආරම්භක තරගාවලිය වූ 2020 අදියරේදී ජැෆ්නා ස්ටැලියන්ස් ලෙසින් ශූරතාව ජයග්‍රහණය කරනු ලැබූ ඔවුන්, 2021 හා 2022 වර්ෂයන්හි ජැෆ්නා කිංග්ස් ශූරයන් ලෙසින් කිරුළු පැළඳීය.
එමෙන්ම ගෝල් නාමය යටතේද මීට පෙර 2020 හා 2021 වර්ෂයන්හි අවසන් මහා තරගයක් ක්‍රීඩාකර තිබේ.
එම අවස්ථා දෙකේදීම ඔවුන් ගෝල් ග්ලැඩියේටර්ස් ලෙසින් ක්‍රීඩාකරනු ලැබීය.
කෙසේ නමුත් ගෝල් මාවල්ස් ලෙසින් ක්‍රීඩාකරන පළමු අවස්ථාව මෙයයි.
අවසන් තරගයේ වීරයා හා තරගාවලියේ වීරයා ලෙසින් රයිලි රූසෝව් සම්මාන දිනාගත්තා.
ජැෆ්නා කිංග්ස් වෙනුවෙන් ඉනිම් 11කට ක්‍රීඩාකළ රූසෝව්, ශතක 02ක් හා අර්ධ ශතකයක් සමගින් ලකුණු 389ක් රැස්කිරීමට සමත් වුණා.
ඊට අමතරව තරගාවලියේ වැඩිම ලකුණු (400) රැස්කළ පිතිකරුවාට ප්‍රධානය කරන රෝස හිස්වැසුම ටිම් සෙයිෆර්ට් විසින් ලබාගත්තා.
එමෙන්ම තරගාවලියේ වැඩිම කඩුලු (17) දවාලූ පන්දු යවන්නාට ප්‍රදාන කරන රතු හිස්වැස්ම කලම්බු ස්ට්‍රයිකර්ස් ක්‍රීඩක ශදාබ් ඛාන්ට හිමිවිය.
ඊට අමතරව තරගාවලියේ නැගීඑන ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගැනීමට දඹුල්ල සික්ස්සර්ස් කණ්ඩායමේ චමිඳු වික්‍රමසිංහ සමත් විය.