ඇගලුම්හලක සේවකයන් 50ක් ආහාර විස වී රෝහලේ

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කළාපයේ මාස් ඇක්ටිව් ෂැඩෝලයින් ඇගලුම් කර්මාන්තශාලාවේ සේවක සේවිකාවන් 50 දෙනෙකු පමණ, කම්හල මගින් ලබා දුන් උදෑසන ආහාර අනුභව කිරීමෙන් පසුව, අද (05) දින උදෑසන 09.00 පමණ සිට රෝගාතුර වීම නිසා මීගමුව මහ රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇත.

මෙම සේවක සේවිකාවන් පිරිස මීගමුව මහ රෝහලේ අංක 02 සහ අංක 03 වාට්ටු වල මේ වනවිට ප්‍රතිකාර ලබමින් පසු වෙයි.

ක්ලාන්තය, වමනය, පාචනය වැනි රෝග ලක්ෂණ මෙම රෝගී වූ සේවක සේවිකාවන් මගින් දිස් වන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.

මේ පිළිබඳ කටුනායක පොලිසිය, මීගමුව රෝහල් පොලිසිය, සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සහ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.