කොළඹ මහ නගර සභාවට එරෙහි අතුරු තහනම් නියෝගයක් දීර්ඝ වෙයි

මරදාන, සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි අලවි මවුලානා ප්‍රජා ශාලාව ආශ්‍රිතව අනවසර ඉදිකිරීම් සිදුකිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය අප්‍රේල් මස 01 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (09) දින නියෝග කර ඇත.

ඒ, ශාලා පරිශ්‍රයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් සිදු කරන ලද අනවසර ඉදිකිරීම් වලට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් ගොනු කළ පෙත්සමක් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඉදිරියේ කැඳවීමෙනි.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කළේ මෙම කරුණට අදාළව කොළඹ මහ නගර සභාවේ හිටපු කොමසාරිස්වරයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුකරයක්ද ගොනුකර තිබෙන බවයි.

කොළඹ මහනගර සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සෙනානි දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාල අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් තම සේවා දායකයා අවශ්‍ය පියවර ගෙන තිබෙන බව සඳහන් කර ඇති අතර අභියාචනාදීකරණයේ සභාපති විනිසුරුවරයා දෙපාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ මෙම නඩුකරය සමථයකට පත් කර ගැනීම සුදුසු බවයි.

ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය අප්‍රේල් මස 01 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙසත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු වරයා නියෝග කර ඇත.