නවසීලන්තයට යන්න සිහින දකින අයට පණිවිඩයක්

“තිරසාර නොවන” සංක්‍රමණ වැඩිවීමට ප්‍රතිචාර වශයෙන් රැකියා වීසා නීති දැඩි කිරීමට නවසීලන්තය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය පවසනවා.

අඩු නිපුණතා සහිත අයදුම්කරුවන්ට දැන් ඉංග්‍රීසි භාෂා අවශ්‍යතා සපුරාලිය යුතු අතර ඔවුන්ට එරට රැඳී සිටීමට අවසර ලැබෙන්නේ වසර තුනක් පමණි. මීට පෙර එවැනි පුද්ගලයින් සඳහා වසර 5ක කාලයක් නවසීලන්තයේ රැඳී සිටීමට අවසර ලැබුණි.

“ආර්ථිකය නැවත ගොඩනැගීම සඳහා මෙම රජයේ සැලැස්මට මෙරට ආගමන ක්‍රමවේදය නිවැරදිව පවත්වාගැනීම ඉතා වැදගත්,” ආගමන අමාත්‍ය එරිකා ස්ටැන්ෆර්ඩ් පැවසුවාය.

පසුගිය වසරේ නවසීලන්තයට සංක්‍රමණය වූ සංඛ්‍යාව 173,000 කි.

දැඩි කර ඇති නීති යටතේ, බොහෝ රැකියා වීසා සඳහා අයදුම්කරුවන් කුසලතා සහ සේවා පළපුරුද්ද සම්බන්ධ වූ අවශ්‍යතා සපුරාලිය යුතුය.

සංක්‍රමණිකයන්ට රැකියාවක් පිරිනැමීමට පෙර ඔවුන් නිශ්චිත අවශ්‍යතා සපුරා ඇති බව සහතික කිරීම හාම්පුතුන්ගේ වගකීම බව නවසීලන්ත බලධාරීන් පවසනවා.

එසේම කඩිනමින් එරට පුරවැසිභාවය ලබාගැනීමට අවස්ථාව ලැබෙන ලෙස හඳුනාගත් වෘත්තීන් සඳහා තවත් වෘත්තීන් 11ක් එක් කිරීමට බලධාරීන් සැලසුම් කර තිබූ අතර එම සැලසුම අත්හැර දැමීමට ඔවුන් මේ වනවිට තීරණය කර ඇති බව සඳහන් ය.