නාමමාලා කෘතිය සියළුම පිරිවෙන් හා විහාරස්ථානවලට නොමිලේ පිරිනැමේ

රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමියන් විසින් සම්පාදනය කරන ලද විවේචනාත්මක පාලි ව්‍යාකරණ ග්‍රන්ථය ”නාමමාලා” කෘතිය පාත්ෆයින්ඩර් පදනමේ නැවත මුද්‍රණයක් වශයෙන් ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ගිහි ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් නිකුත් කර තිබෙනවා.

නාමමාලා පළමු පිටපත පාත්ෆයින්ඩර් පදනම නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා විසින් සියම් නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අති පුජ්‍ය ආචාර්ය, නියංගොඩ විජිතසිරි හිමිපාණන් වෙත පිරිනමනු ලැබුවා.

1870 දී මෙම කෘතිය පළමු වරට මුද්‍රණය කර ඇති අතර දෙවැනි මුද්‍රණයක් 1965 වසරේ දී පළ කරන ලද බව සඳහන්.

අමරපුර සම්බුද්ධ ශාසනෝදය පාර්ශ්වයේ මහානායක ස්වාමීන්වහන්සේ ආචාර්ය අති පූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ හිමිපාණන් රාජගුරු ශ්‍රී සුභූති හිමිපාණන් ගේ නාමමාලා කෘතිය අලූත් මුද්‍රණයේ පිටපත සංකේතයක් වශයෙන් පාත්ෆයින්ඩර් පදනමට පිරිනැමීම ද මෙහි දී සිදුවී තිබෙනවා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැති මෙම අවස්ථාවට ගිහි පැවැදි විශාල පිර්සක් සහභාගී වූ අතර වැඩබලන ඉන්දීය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාන්ඩේ මහතා විශේෂ ආරාධිතයා වශයෙන් පැමිණි බවයි වාර්තා වන්නේ.