ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැති ප්‍රමිතියෙන් තොර ඖෂධ 500කට ආසන්න සංඛ්‍යාවක් රටේ සංසරණයවීම හේතුවෙන් රෝගී ජීවිත දැඩි අවදානමට ලක්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර ඇත.
රජයේ රෝහල් විසින් හදිසියේ කරනු ලබන මිලදීගැනීම්වලින් 40%ක ප්‍රමාණයක මෙරට ලියාපදිංචිවී නැති ඖෂධ දක්නට ඇති බව රෝහල් අධ්යක්ෂවරු පිරිසක් පැවසූහ.
ඖෂධ නියාමන අධිකාරියේ නිසිලෙස නැවත ලියාපදිංචි කිරීම සහ නව ලියාපදිංචි ඖෂධවල සහතිකපත් අදාළ සමාගමට ලබාදීමට ප්‍රථමයෙන් ප්‍රධාන විධායක නිලධාරියා අන්තනෝමතික ලෙස මිල නියාමන කිරීම මෙම තත්වයට හේතුවී ඇත.
ඖෂධ නිෂ්පාදනය කර්මාන්තයක් ලෙස පවතින රටවල ඖෂධ මිල නියාමනය කිරීම සඳහා වෙනම ස්වාධීන ආයතනයක් සහ ඖෂධවල ගුණාත්මකභාවය නියාමන කිරීම සඳහා වෙන් වෙන්ව බොහෝ ආයතන පවතින බව පෙන්වා දෙන රෝහල් අධිකාරිහු මෙරට ඖෂධ නියාමන අධිකාරි පනතෙන්ද එසේ කටයුතු කිරීම සඳහා බලතල ඇති බව පෙන්වා දෙති.
එමෙන්ම සැපයුම්කරුවන් අගතියට පත්වන අවස්ථාවලදී අභියාචනය සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් අභියාචනාධිකරණයක් ස්ථාපිත කළ යුතුව තිබෙන නමුත් අදාළ නිලධාරීන් එසේ නොකර අදාළ සීමාවෙන් පිට තම අභිමතය පරිදි කටයුතු කරන බව ආරංචි මාර්ග සඳහන් කරයි.