වරාය නගරයෙන් තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක්

ඉකුත් 05 දින පස්වරුවේ කොළඹ වරාය නගරයේ ඉදිකළ “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් විවෘත විය.

එය ලොව ධනවත් රටවල නිර්මාණය කර ඇති සුපිරි වෙළෙඳ සංකීර්ණයකට නොදෙවෙනි ආකාරයෙන් නිමවා ඇත. “The Mall” තීරු බදු රහිත සාප්පු සංකීර්ණය දුටුවන් නෙත් සිත් වසඟ කිරීමට සමත්ය. කොළඹ වරාය නගරයේ ඉදිකළ ප්‍රථම නාගරික තීරුබදු සාප්පු සංකීර්ණය මෙයවන අතර භාණ්ඩ අලෙවිසැල්, ආපන ශාලා සහ අනෙකුත් වෙළෙඳසැල්වලින් සමන්විතය.

මෙහි One World, China Duty Free Group (CDFG) සහ Flemingo යන ලොව සුප්‍රකට තීරුබදු රහිත වෙ‍ළෙඳ සැල් සිය මෙහෙයුම් කටයුතු ඇරඹීමට නියමිත අතර මේ වන විටත් China Duty Free Group (CDFG) තීරුබදු සාප්පු සංකීර්ණය සිය කටයුතු ආරම්භ කර තිබෙයි.

අනෙක් සාප්පු සංකීර්ණ මේ වර්ෂය අවසන් වීමට ප්‍රථම ආරම්භ වීමට නියමිතය. මීට අමතරව තීරුබදු සාප්පු සංකීර්ණය පිටත කලාපයේ ඇති LAKARCADE, SPA CEYLON, ‘BASILUR’ WORLD’S FRESHEST TEA, සහ CHLL අවන්හල සිය සේවා කටයුතු ද මේ වන විට ආරම්භ කර පවතී.