වරාය බත්පතේ කැරපොත්තෙක් – ඊට පෙර පිහි කෑල්ලකුත් තිබිලා

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පාලනය කරන කොළඹ වරාය කුස්සියේ අඹ මාළුවේ කැරපොත්තෙක් සිටි බව එම වරායේ සේවකයෝ චෝදනා කරති.

නැගෙනහිර බහලුම් පර්යන්තයේ සේවය කරන සේවකයකු පසුගිය 12 වැනිදා රාත්‍රි කුස්සියෙන් ලබාගත් ආහාර පාර්සලයේ කැරපොත්තා සිටි බවද සේවකයෝ සඳහන් කරති.

කොළඹ වරාය කුස්සියේ කෑමවල සහ එහි පරිපාලනයේ හා ප්‍රමිතියේ දැඩි ගැටලුවක් පවතින බවත් කෑමවල තිබී පිහියකින් කැඩී ගිය කොටසක් ද මීට දින කීපයකට පෙර හමුවී ඇති බවත් සේවකයෝ සඳහන් කරති.

වෛද්‍යවරු ද ඇතුළත්ව සිටි කමිටුවක් එම කුස්සියේ ආහාර පිසීම සුරක්ෂිත කිරීම සහ ආහාර වට්ටෝරු සැකසීම කළ ද මෑතක සිට ඇතැම් වෘත්තීය සමිතිවල බලපෑම හේතුවෙන් නිලධාරීන් සහ සේවකයන් පීඩාවට පත්ව ඇති බවත් බලපෑම් සමග සේවක අප්‍රසාදය මත ආහාර සුරක්ෂිතතාව පහළ වැටී ඇති බවත් සේවකයෝ චෝදනා කරති.

වරාය අධිකාරියට මෑතකදී පත්වීම් ලැබූ බොහෝ දෙනෙක්ට එහි පරිපාලනය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති බව කියන සේවකයෝ වර්තමාන පරිපාලනයේ උසස් නිලධාරියෙක් වරාය කුස්සියෙන් අමතර කෑම ලබාගෙන එයට මුදල් ගෙවීමට ගොස් ඇති බව ද පැවසුහ.

වරායේ කෑම විකිණීම තහනම් යැයි එම අවස්ථාවේදී ප්‍රධාන නිලධාරියාට කුස්සියේ සේවකයන් පවසා ඇතැයි ද වරාය සේවකයෝ වැඩි දුරටත් සඳහන් කරති.

මෙම සිද්ධිය පිළිබඳව වරාය මුළුතැන්ගෙයි අධ්‍යක්ෂ මොහොමඩ් රම්සින් ගෙන් කළ විමසුමේදී පැවසුවේ තමන් නිවාඩු ලබා ගමට පැමිණ සිටින බැවින් ඒ පිළිබඳව නොදන්නා බවත් මේ ගැන වරාය මුළුතැන්ගෙයි කළමනාකරුගෙන් විමසිය යුතු බවත්ය.

ඒ පිළිබඳව විමසීමට වරාය මුළුතැන්ගෙයි ප්‍රධාන කළමනාකරු ඇලපාත ගේ දුරකතනයට ඇමැතුව ද ඔහු ප්‍රතිචාර නොදැක්වීය.

මෙම සිද්ධිය පිළිබඳව වරාය අධිකාරියේ සභාපති අද්මිරාල් එස්. එස්. රණසිංහ ගෙන් කළ විමසුමකදී පැවසුවේ කෑම තුළ කැරපොත්තෙක් සිටියේ යැයි පැමිණිල්ලක් මේ දක්වා තමන්ට ලැබී නැති බවය. එසේම වරාය කුස්සිය පෞද්ගලිකරණය කිරීම නවතා තමන් එය බේරාගත් බවද ඔහු කීය.

එෆ්.අස්ලම් – අරුණ පුවත්පත