වැට් බද්දෙන් මුද්‍රිත පොත් නිදහස් කිරීමට ඉල්ලීමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුධයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසයි.

‘2024 ජනවාරි මාසයට පෙර පැවති ලෙස පොත් වැට් බද්දෙන් නිදහස් කරගනිමු’ යනුවෙන් එම සංගමය අද (10) පැවැත් වූ මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව අනාවරණය කර සිටියේය.

මෙම බදු පැනවීම හේතුවෙන් සමස්ත සමාජයට, ප්‍රකාශකයන්ට, ලේඛකයින්ට, පොත් ආනයනකරුවන්ට සහ විකුණුම්කරුවන්ට අහිතකර බලපෑම් සිදුව ඇති බව පෙන්වා දුන්නේය.

එනිසා ආර්ථික වශයෙන් මෙන්ම අධ්‍යාපනය, සංස්කෘතිය හා පුද්ගල සංවර්ධනය සඳහා පොත්, වැට් බද්දෙන් නිදහස් කරගැනීම තීරණාත්මක සාධකය් බව ද පෙර රජයේ මුදල් අමාත්‍යංශය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ අනෙකුත් අදාළ බලධාරීන්ට දිගින් දිගටම ඉල්ලීම් කළත්, ලිපි ලැබුණු බව සඳහන් කළ පිළිතුරු ලිපි පමණක් ඔවුන්ගෙන් ලැබුණු බව පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ සභාපති සමන්ත සමරසිංහ මහතා පවසා සිටියේ, ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන මෙම අර්බුධයට පිළියමක් ලෙස ඉදිරි අයවැයෙන් මෙම බද්ද ඉවත්කරන යැයි ඉල්ලීමක් කර තිබෙනවා යනුවෙනි.