විදුලිබල සේවකයන්ට ප්‍රසාද දීමනා නොදෙයි

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට ප්‍රසාද දීමනා මෙම වසරේ ද නොදීමට එම මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක් පැවසීය.

මෙම වසරේ ලංකා විදුලිබල මණ්ඩලය ලාභයක් ලැබුව ද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලි ගාස්තු අඩු කිරීමට යොදවා ඇති බව කී එම නිලධාරියා ඒ හේතුවෙන් මෙම වසරේ ද ප්‍රසාද දීමනා ගෙවීමේ හැකියාව නැතැයි සඳහන් කළේය.

ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනාවක් දෙන ලෙස කළ ඉල්ලීම පිළිබඳව විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කළ සළකාබැලීමේදී මෙම තීරණයට එළඹ තිබෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන තත්ත්වයකට පත්ව ඇති බැවින් දෙසැම්බර් 10 වැනිදාට පෙර සේවක ප්‍රසාද දීමනාව ලබාදීමට පියවර ගන්නා ලෙස ලංකා විදුලි සේවක සංගමය පසුගියදා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය.