සමථයකට පත් වූ රග්බි නඩුව

ශ්‍රී ලංකා රග්බි සංගමයේ මහා සභා රැස්වීම පැවැත්වීමට පෙර එම සංගමය සම්බන්ධයෙන් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනු කර තිබූ රිට් පෙත්සමක් අභියාචනාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වය විසින් ඊයේ (05) ඉල්ලා අස් කර ගන්නා ලදි. පෙත්සමට අදාළ පාර්ශ්වයන් විසින් අධිකරණය හමුවේ මීට පෙර ඇති කරගත් සමථයකට අනුව මේ පෙත්සම ඉල්ලා අස් කර ගනු ලැ‍බීය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන ලෆාර් තාහිර් සහ පී. කුමාරන් රත්නම් මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනා විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවා තිබිණි.

එම පෙත්සම මීට පෙර අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා කියා සිටියේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් ශ්‍රී ලංකා රග්බි සංගමයට නිලධාරීන් පත් කර ගැනීම සඳහා වාර්ෂික නිලවරණයක් පැවැත්වීමට තීරණය කර ඇති බවය. ඒ අනුව රග්බි ක්‍රීඩාව සඳහා පත් කර ඇති නිසි බලධාරියා වන ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව නිලධාරින් පත් කරගැනීම සඳහා නිලවරණය වහාම කැඳවීමට කටයුතු කරන බවය. ඒ සඳහා ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයකු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ සාමාජිකයන් දෙදෙනකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇති බවත්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වි‍ශේෂ මහා සභා රැස්වීමක් කැඳවා නිලවරණ කමිටුව පත් කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එසේ නිලවරණයෙන් පත්වන නිලධාරීන් ලෝක රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධව ඉදිරි පියවර ගැනීමට ලබන 2025 වසරේ ජනවාරි මස 28 වැනිදා හෝ ඊට පෙර විශේෂ මහාසභා රැස්වීමක් පැවැත්විය යුතු බවත්, මහ සභා රැස්වීම සහ විශේෂ මහා සභා රැස්වීම ක්‍රීඩා පනතට, ක්‍රීඩා නීති රෙගුලාසිවලට සහ ශ්‍රී ලංකා රග්බි ආයතනයේ ව්‍යවස්ථාවට යටත්ව සිදු කළ යුතු බවත් වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

මේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් පෙත්සම්කරුවන් සමථයකට පත්වී පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට කැමැත්ත පළ කරන බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා එහිදී සඳහන් කළේය. එම කරුණු සැලකිල්ලට ගත් විනිසුරු මඬුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අතර ඒ අනුව එය නිෂ්ප්‍රභ කරන ලදි.