සුපිරි පෝෂ් රථය නිසා රෝසි මාධ්‍ය ඉදිරියේ හඩා වැටෙයි

මේ වන විට ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබෙන රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරියක් ලෙස කටයුතු කළ රෝසි සේනානායක මහත්මිය භාවිතා කළ පෝෂ් වර්ගයේ මෝටර් රථය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සඳහා ඇය ඊයේ (02) ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා.

තමන් කිසිසේත්ම සුඛෝපභෝගී මෝටර් රථයක් ඉල්ලා නොසිටි බව පවසන රෝසි සේනානායක මහත්මිය, අදාල පෝෂ් මෝටර් රථය, ශ්‍රාවස්තියේ පුස්කමින් තිබූ එකක් බවද මාධ්‍ය අමතමින් සදහන් කළා.

තමන්ට මෙම රථය ලබා දුන් අවස්ථාවේදී එය නාරාහේන්පිට කිරිමණ්ඩල මාවතේදී කඩා වැටුණු බවත් එය අධික ලෙස ඉන්ධන කා දමන රථයක් බවත් ඇය පෙන්වා දෙනවා.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කළේ, ජනාධිපති උපදේශකවරිය ලෙස කටයුතු කළ වසරක කාළය තුළ ඇයට වාහන 8 ක් ලබාදුන් බවත් එම සියලු වාහන අබලන් තත්ත්වයේ පැවති ඒවා බවත්ය.

පෝෂ් වර්ගයේ මෝටර් රථයක් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලබා දී තිබුණේ, ඊට පෙර ලබා දී තිබුණු මෝටර් රථ සියල්ල විවිධ හේතූන් මත කාර්මික දෝෂයන්ට ලක්වීම හේතුවෙන් බව රෝසි සේනානායක මහත්මිය පැවසුවා.

මෙම පෝෂ් මෝටර් රථය ඇතුළට වතුර ගලන බවත්, සන් රූෆ් එක වේයෝ කා තිබුණු අතර කිසි දිනෙක ඩිකිය ඇරගන්න බැරි වූ රථයක් බවද ඇය දුක සේ මෙහිදී සදහන් කළා.