හන්තාන තරණයේදී අතරමං වූ සිසුන් 10ක් බේරා ගැනෙති

හන්තාන කන්ද තරණය කරමින් සිටියදී අතරමං වුනු කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයෙන් පැමිණි පාසල් සිසුන් පිරිසක් ගැන පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරක් මත පොලිසිය සහ යුද හමුදාව එක්ව මහත් පරිශ්‍රමයක් දරා ඔවුන් බේරාගෙන තිබෙයි

මේ දිනවල පාසල් නිවාඩු කාලය බැවින් කොළඹ සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් යුත් වයස අවුරුදු 16-17 වයසේ පාසල් සිසුන් කණ්ඩායමක් ඊයේ (04) පෙරවරුවේ පේරාදෙණිය පොලිස් වසමේ සරසවිගම ප්‍රදේශයෙන් හන්තාන කන්ද තරණය කොට ඇති අතර සවස 6.00 පමණ වන විට අධික මීදුම සහ සීතල හේතුවෙන් සිසුන් කිහිප දෙනෙකුගේ කෙන්ඩා පෙරළි ගමන් මාර්ගය සොයා ගැනීම අපහසු වී තිබෙයි.

පසුව එම සිසුන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු පොලිසිය සහ දෙවැනි සිංහ රෙජිමේන්තුවේ සොල්දාදුවන් එක්ව මහත් පරිශ්‍රමයක් දරා අද (05) අලුයම් කාලයේ සරසවිගම ප්‍රදේශයෙන් එම සිසුන් ආරක්ෂිතව රැගෙන විත් ඇත.