යුක්තියේ ප්‍රතිඵල එයි

යුක්තිය මෙහෙයුම මගින් මාසයක් තුළ දී දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය හා අපරාධ වැරදි සම්බන්ධයෙන් 40,590ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225දෙනා අතරින් සැකකරුවන් 1,703කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් 1,867 ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

නීතිවිරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801ක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගෙන ඇති මුළු මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම මිලියන 4,791 කට ආසන්න වන අතර, තහනමට ගත් දේපොළ වෙළෙඳපොළ වටිනාකම මිලියන 725 කට ආසන්න බව අනාවරණය වී ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499 ක්ද ඇති බවයි වාර්තා වන්නේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 181ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.